Saturday, June 9, 2018

තථාගතයන් වහන්සේගේ ශ්‍රී භාග්‍යය


දක්නවුන්ට සතුට ඇති කරන්නා වූ නැවත නැවත දැකිමේ ආශාව ඇති කරන්නා වූ රූප ශෝභාව හා ශරීරය වස්ත්‍ර වාසස්ථාන පරිභෝග භාණ්ඩ යන මේවායේ පිරිසිදුබව ගමනාදි ඉරියව් පැවැත්වීමේ ශෝභනත්වය කථා කීරිම් බැලිම් සිනාසිම් ආදි ක්‍රියාවන්ගේ ශෝභනත්ත්වය යනාදිය ශ්‍රී නම් වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ද කේතුමාලා ව්‍යාමප්‍රභා අශීතිහස්ථප්‍රභා යන රශ්මීන්ගෙන් ද යුක්ත වන තථාගත දේහය ඉතා ශ්‍රීමත් ය. අන් මිනිසකුට තබා දෙවියකුට බ්‍රහ්මයකුට ද එබඳු ශ්‍රීමත් ශරීරයක් නැත. භාග්‍යවතුන් වහන්සේ තීර්ථකමථනය පිණිස යමාමහ පෙළහර කොට තව්තිසා දෙව්ලොවට වැඩ වදාරා සක්දෙව් රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි අබිදම් දෙසීම සඳහා වැඩහුන් කල්හි දස දහසක් සක්වලින්ම පැමිණි දේව බ්‍රාහ්මයෝ උන් වහන්සේ වටා සිට ගත්හ. ඒ මහ පිරිසෙහි රූප ශෝභාවෙන් තථාගතයන් වහන්සේ යට පත් කළ හැකි එක දෙවියකු එක බ්‍රහ්මයකු නොවූ බවත් සකල දේව බ්‍රහ්මයන්ගේ රූප ශෝභාව ඉක්මවා තථාගතයන් වහන්සේ ම බැබලූණ බවත් සඳහන් වේ.

තථාගතයන් වහන්සේගේ දේහයෙහි අන්‍යයන්ගේ සිත් ඇද ගන්නා ශක්තිය කොතරම් ද කියත හොත් උන් වහන්සේ පිඬු සිඟාවඩනා දුටු චක්කලී නම් බ්‍රහ්මණයා උන් වහන්සේගේ රූසිරි බල බලා සිටීමේ ආශාවෙන් ම පැවිදි විය. පැවිදි වූ චක්කලී අන්‍ය භික්ෂුන් මෙන් කමටහන් වැඩීම ආදියෙහි නො යෙදී තථාගතයන් වහන්සේ දැකිය හැකි තැන්වල ම වෙසෙමින් උන් වහන්සේගේ රූසිරු බැලීමෙහි ම යෙදුනේය. තථාගත දේහය හොබවන මහාපුරුෂලක්ෂණ දෙතිස ලක්ෂණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.


මෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශීත්‍යනුව්‍යඤ්ජනයෙන් ශෝභමාන වූ තථාගත දේහයෙන් නික්මෙන්නා වූ බුද්ධ රශ්මීහු උන්වහන්සේගේ ශ්‍රී දේහය අතිශයින් ශෝභමාන කෙරෙති.


එම බුද්ධ රශ්මීහු සැකෙවින් මෙසේය.

  • ව්‍යාමප්‍රභා
තථාගත දේහය වටා සතර රියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය මේ නමින් හැඳින්වේ.
  • අශීතිහස්තප්‍රභා
තථාගත දේහය වටා අසූ රියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය මේ නමින් හැඳින්වේ.
  • අනන්තප්‍රභා
ලොවුතුරා බුදු බව ලැබීමෙන් සතරවන සතියෙහි රතනඝරයෙහි වැඩ සිට අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය මෙනෙහි කිරීමේදී තථාගත ශරීරයෙන් නික්ම අනන්ත ලෝක ධාතුවෙහි පැතිර ගිය ෂට් වර්ණ බුද්ධ රශ්මිය මේ නමින් හැඳින්වේ.

ෂට් වර්ණ
    • නීල වර්ණය - තථාගත ශ්‍රී දේහයේ නිල් තැන් වන හිසකේ රැවුල් ලොම් වලින් හා නේත්‍රයන්ගෙන් විහිදුනි.
    • පීත වර්ණය - තථාගත ශ්‍රී දේහයේ සමෙන් හා නෙත්වල පීත ස්ථානයන්ගෙන් විහිදුනි.
    • ලෝහිත වර්ණය- තථාගත ශ්‍රී දේහයේ ලේ මස් වලින් හා නෙත්වල රතු තැන්වලින් විහිදුනි.
    • ඕදාත වර්ණය- තථාගත ශ්‍රී දේහයේ අස්ථීන්ගෙන් හා දන්තයන්ගෙන්ද, නේත්‍රයන්ගේ ශ්වේත පැහැ ස්ථානයන්ගෙන්ද විහිදුනි.
    • මාඤ්ජිෂ්ඨක හා ප්‍රභාස්වර වර්ණය - තථාගත ශ්‍රී දේහයේ ඒ ඒ තැන් වලින් විහිදුනි. 
  • කේතුමාලා ඌණීරෝම ප්‍රභා
තථාගතයන් වහන්සේගේ ශීර්ෂයේ කේශධාතූන්ගෙන් අසූ රියනක් උසට නැග සිටින නීල වර්ණ රශ්මිය කේතුමාලා රශ්මිය නමින් හැඳින්වෙන අතර දෙබැම අතර නළල්තලයෙහි පිහිටි ඌර්ණරෝම ධාතුවෙන් විහිදෙන ශ්වේත රශ්මිය ඌණීරෝම ප්‍රභා නම් වේ.
  • දාඨාප්‍රභා
තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පිහිටි සතර දාඨාතුන්ගෙන් නික්මෙන්නා වූ රශ්මිය මේ නමින් හැඳින්වේ.

මෙසේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශීත්‍යනුව්‍යඤ්ජනයෙන්ද, බුද්ධ රශ්මීන්ගෙන්ද ශෝභමාන වූ තථාගත දේහය වර්ණනා කිරීමට උපමා නැත්තේය.

උ. ගැ. - රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ සූවිසි මහ ගුණය ග්‍රන්ථයේ පිටුව 314-330

No comments:

Post a Comment