Tuesday, May 29, 2018

දශ පුණ්‍යක්‍රියා



1. දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් තමාට අයත් වස්තුවක් අන් අයට පරිත්‍යාග කිරීම.

2. සීලය – පාප ක්‍රියා වලින් වැළකීම හා තථාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම.  ( උදා: පංචශීලය හෙවත් පන්සිල්, අෂ්ඨාංග ශීලය හෙවත් අටසිල්, නවාංග ශීලය, දස සිල් ආදිය )

3. භාවනාව – භාවනාමය කුසලය යනු කුසලයන් අතරින් අග්‍ර වු කුසලයයි. භාවනාව සමථ භාවනාවය, විදර්ශනා භාවනාවය යැයි දෙයාකාර වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීමය. (සමාධිය යනු සිතට නොයෙක් අරමුණු වලට යාමට නොදී එය එක අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයකි. ) විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීමය. භාවනාවෙන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙති.

4. අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගරු කිරීම. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තන් වන අතර ධාතු, මහා බෝධි, චෛත්‍ය හා පිළිම ආදිය ගරු කළ යුතු වස්තූන් වේ.

5. වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම.

6. ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම.

7. පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම

8. ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම.

9. ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් තථාගතයන්  වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම.

10. දිට්ඨිජ්ජුකම්මය – පින් පව් ඇත, පින් පව් වල විපාක ඇත, මරණින් පසු නැවත ඉපදීමක් ඇත, සත්ත්වයෝ කර්මානුරූපීව සුවදුක් ලබන්නේය යනාදී සම්‍යක් දෘෂ්ටි ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම.


  • සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ වැඩි විස්තර පිණිස රේරුකානේ චන්දවිමල හිමිගේ චතුරාර්‍ය සත්‍ය ග්‍රන්ථයේ 142 පිටුව බලන්න.
  • දශ පුණ්‍යක්‍රියා පිළිබඳ වැඩි විස්තර පිණිස රේරුකානේ චන්දවිමල හිමිගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයේ පිටුව 93 -181 බලන්න.



මේ දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ආත්ම භවය තුළ දශ අකුසලයෙන් මිදී හැකි තරම් දශ පුණ්‍යක්‍රියාවන් හී නිරතව උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස කටයුතු කරත්වා... 


"ඉධ නන්දති පෙච්ච නන්දති 
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති 
භීය්‍යො නන්දති සුග්ගතිං ගතො"


"පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පර ලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. මා විසින් පිනක් කරන ලදැයි සතුටු වෙයි. ඒ නිසා සුගතියට ගියේ වඩාත් සතුටු වෙයි.
( ධම්මපදය - යමක වගර්‍‍ය 18 වන ගාථාව)