Sunday, October 28, 2018

සූවිසි මහ ගුණය

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුනය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමය යි කියනුයේ ඒ පිළිගැනීමටය. රත්නත්‍රයේ එක ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයෙකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතුය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්‍ය්‍ය පුද්ගලයකුටද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් ම තරමකින් වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතුය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස්ය.

බුද්ධ රත්නයේ ගුණ නවය

ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ ලෝකවිදු, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ භගවාති.

1. සෝ භගවා අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පූජාවන් පිළිගැනීමට සුදුසු වන සේක.

2. සෝ භගවා සම්මා සම්බුද්ධෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ සකල ධර්ම සමූහය අනිකකුගෙන් අසා ගැනීමක් නොකොට තමන් වහන්සේ විසින්ම කිසිඳු වැරදීමක් නැතිව ඇති සැටියෙන් ම දැන සිටින සේක.

3. සෝ භගවා විජ්ජාචරණ සම්පන්නෝ

4. සෝ භගවා සුගතෝ 
ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක. 

5. සෝ භගවා ලෝකවිදු
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක.

6. සෝ භගවා අනුත්තරෝ පුරිසදම්මසාරථි
ඒ භාග්‍යවතුන් වහන්සේ කාය බල සෘද්ධිබලාදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමගට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක.

7. සෝ භගවා සත්ථා දේවමනුස්සානං
ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ගුරු වන සේක.

8. සෝ භගවා බුද්ධෝ
ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාටද අවබෝධ කරවන සේක.

9. සෝ භගවා භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින්ම ගරු කිරීමට සුදුසු වන සේක.


ධර්ම රත්නයේ ගුණ හය

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, සන්දිට්ඨිකෝ, අකාලිකො, ඒහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති




1. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ
භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මුල මැද අග යන තුන් තැනම යහපත් වන පරිදි මනාකොට දේශනය කරන ලද්දේය.
 

2. සන්දිට්ඨිකො
ඒ ධර්ම තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්ෂ වන ගුණ වලින් යුක්තය.

3. අකාලිකො
ඒ ධර්ම තෙමේ එය පිළිපදින්නා වූ හෙවත් ඒ ධර්මය ක්‍රියාවෙහි යොදවන්නා වූ සත්පුරුෂයනට වර්ෂ ගණන් මාස ගණන් ගත වීමෙන් නොව එදිනෙදාම ලැබිය හැකි ගුණ වලින් යුක්තය.

4. ඒහිපස්සිකො
ධර්මය තෙමේ ඇවිත් මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නයයි අන්‍යයන්ට නිර්භීතව කිය හැකි අන්‍යයන් ඇද දැමීමට සුදුසු ගුණ ඇත්තේය.

5.ඕපනයිකො
මේ ධර්මය තෙමේ, අන් හැම වැඩක්ම පසුව කරන්නට තබා සෑම වැඩකටම කලින් තමාගේ සිතෙහි පිහිටුවීමට සුදුසු වන්නේය.


6.පච්චත්තං වෙදිතබ්බෝ විඤ්ඤූහි 
ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නාවූ සත්පුරුෂයනට අන්තැනකින් නොව තමන්ගේ සිත් තුළින්ම අහෝ සැපය, අහෝ යහපත්ය කියා දැනෙන ගුණයෙන් යුක්ත වන්නේය.


සංඝ රත්නයේ ගුණ නවය

සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුණෙය්‍යො පාහුනෙ‍ය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලි  කරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති


1. සුපටිපන්නො භගවතො සාවකසංඝො භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් ඇති සේක.

2. උජුපටිපන්නො භගවතො සාවකසංඝො
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත ඍජූ වූ ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.

3. ඤායපටිපන්නො භගවතො සාවකසංඝො
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත නිවනට හේතු වන ප්‍රතිපත්තියෙහි පිළිපන් සේක.

 4. සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුණෙය්‍යො
පුරුෂ යුගල වශයෙන් සතරක්ද පුද්ගල වශයෙන් අට දෙනෙක්ද වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ‍්‍රාවක සංඝයා වහන්සේලා ඉතා දුර සිට වුවද ගෙනැවිත් දෙන සිවුපසය පිළිගැනීමට සුදුසුය වන සේක.

6. පාහුනෙ‍ය්‍යො
දුර සිට පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කළ දෙය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.

7.දක්ඛිණෙය්‍යො
සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසු වන සේක.

8. අඤ්ජලි  කරණීයො
සකල ලෝකයා විසින්ම දොහොත් හිසමත තබා කරන නමස්කාරය පිළිගැනීමට සුදුසු වන සේක.

9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස
ලෝකයා හට උතුම් පින්කෙතක් වන සේක


පරිශීලනය - රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ සූවිසි මහ ගුණය ග්‍රන්ථයේ 20-21, 344-345, 397-398 පිටු




~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි.
යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා
පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජයමංගලං
උත්තමංගේන වන්දේහං පාදපංසුවරුත්තමං
බුද්ධේයෝ ඛලිතෝ දෝසෝ බුද්ධෝ ඛමතු තං මමං

බුදුරජාණන් වහන්සේ දිවි ඇති තෙක් මම සරණ යමි.
අතීතයේ වැඩසිටියාවූද, අනාගතයේ පහළවන්නාවූද,
වර්තමානයේ වැඩසිටින්නාවූද, යම්තාක් බුදුරජාණන් වහන්සේලා වෙත්ද
ඒ සියලූ බුදුරජාණන් වහන්සේලා මම සැමදා වඳිමි.මට අන් පිහිටක් නැත.
මට පිහිට උතුම් වූ බුදුරජාණන් වහන්සේය.
ඒ සත්‍ය වචනය හේතුවෙන් මට යහපතක්ම වේවා.
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාදය ස්පර්ශ කල පා දූවිල්ලට පවා හිස නමා වදිමි.
බුදුරජාණන් වහන්සේට මාගෙන් යම් වරදක් වූවා නම් මා හට කමා කරන සේක්වා


ධම්මං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි.
යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා
පච්චුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජයමංගලං
උත්තමංගේන වන්දේහං ධම්මංච තිවිධං වරං
ධම්මේ යෝ ඛලිතො දොසෝ ධම්මෝ ඛමතු තං මමං

ධර්මරත්නය දිවි ඇති තෙක් මම සරණ යමි.
අතීතයේ දේශනා කරන ලද්දා වූද, අනාගතයේ දේශනා කරනු ලබන්නා වූද
වර්තමානයේ දේශනා කරන්නාවූද යම්තාක් ධර්මයෝ වෙත්ද ඒ සියලූ ධර්මයෝ මම සැමදා වඳිමි.
මට අන් පිහිටක් නැත. මට පිහිට උතුම් වූ ධර්මරත්නයමය.
ඒ සත්‍ය වචනය හේතුවෙන් මට යහපතක්ම වේවා.
මම ත‍්‍රිවිධාකාර වූ උතුම් වූ ධර්මරත්නය හිසනමා වදිමි.
ධර්මරත්නයට මාගෙන් යම් වරදක් වූවා නම් මා හට කමා කරන සේක්වා


සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි.
යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා      
පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි සබ්බදා        
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං       
ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජයමංගලං        
උත්තමංගේන වන්දේහං සංඝංච තිවිධෝත්තමං       
සංඝේ යෝ ඛලිතො දොසෝ සංඝෝ ඛමතු තං මමං

උතුම් වූ සංඝරත්නය නිවන් දක්නා ජාති දක්වා මම සරණ යමි.
අතීතයේ වැඩසිටියාවූද  අනාගතයේ පහළවන්නාවූද
වර්තමානයේ වැඩසිටින්නාවූද යම්තාක් සංඝරත්නය වෙත්ද ඒ සියලූ සංඝරත්නය මම සැමදා වඳිමි.
මට අන් පිහිටක් නැත. මට පිහිට උතුම් වූ සංඝරත්නය.
ඒ සත්‍ය වචනය හේතුවෙන් මට යහපතක්ම වේවා.
ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට හිස නමා වදිමි.
සංඝරත්නයට මාගෙන් යම් වරදක් වූවා නම් මා හට කමා කරන සේක්වා