Wednesday, May 30, 2018

දරුවෝ...



දරුවෝ අත්‍රජ, ඤාතක, ඛෙත්තජ අන්තේවාසික හා දින්නක ලෙස වර්ග පහකින් යුක්ත වන්නේය.

1. අත්‍රජ - තමන් නිසා උපන් දරුවෝ
2. ඤාතක - තමන්ට නෑකමින් වන දරුවෝ
3. ඛෙත්තජ - තම සමීපයේ ඉපදීමෙන් වන දරුවෝ (ඔවුන් සිටින්නේ දෙව් ලොවය. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නොවදති. ඇකයෙහි හෝ ළයෙහි හෝ යහනෙහි හෝ උපන් තැනැත්තා දෙවියෝ විසින් දරුවන් ලෙස සලකති. )
4. අන්තේවාසික - මෙනමින් හැදින්වෙන්නේ ගෝලයන්ය. ගුරුවරයෙක් විසින් දරුවකු මෙන් සලකා ශිෂ්‍යයාට හොඳ නරක කියාදිය යුතුය


මේ දරුවන් වර්ග අතරින් අත්‍රජ නම් වූ දරුවෝ ප්‍රධාන වෙති.


එමෙන්ම දරුවෝ තුන් කොටසක් වෙති.

1. අතිජාත - මව්පියන්ට වඩා ගුණවත් වූ දරුවෝ
2. අනුජාත - මව්පියන් හා සමාන ගුණ ඇති දරුවෝ
3. අවජාත - මව්පියන්ට වඩා ගුණයෙන් අඩු දරුවෝ


නුවණින් ගුණයෙන් ඉහළ පණ්ඩිත මව්පියන් කරුණු පහක් බලාපොරොත්තුවෙන් දරුවන් තනන බව තථාගතයන් වහන්සේ විසින් මෙලෙස දේශනා කර ඇත.

පඤ්ච ඨානානි සම්පස්සං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
භතො වා නො හරිස්සති කිච්චං වා නො කරිස්සති
කුලවංසො චිරං ඨස්සති දායජ්ජං පටිපජ්ජති,
අථ වා පන පෙතානං දක්ඛිණං අනුපදස්සති,
ඨානානෙතානි සම්පස්සං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා

පණ්ඩිත මාපියෝ කරුණු පසක් බලමින් දරුවකු කැමති වෙති.

1. අප විසින් පෝෂණය කරන ලද තැනැත්තේ මහලු කාලයේ දී අප පෝෂණය කෙරේය. 
2. වැඩක් ඇති වූ කල්හි අපට එය කරන්නේය. 
3. දරුවා නිසා අප ගේ කුලපරම්පරාව බෝ කල් පවත්නේ ය.
4. අපගේ උරුමය පවත්නේ ය.
5. අප මළ කල්හි අප උදෙසා දන් දෙන්නේ ය 

යන මේ කරුණු බලාපොරොත්තුවෙන් නුවණැත්තෝ දරුවකු කැමති වන්නාහ” යනු එහි තේරුමයි. 

බාල කාලයේ දී තමන් පෝෂණය කළ මාපියන් හට ඔවුන් බලාපොරොත්තු වන කරුණු පස ඉටු කිරීම දරුවකුගේ පරම යුතුකම ය. 

දරුවෝ ඒ කරුණු පස ඉටු කෙරෙත්වා!


උ. ගැ. - රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයේ පිටුව 236-237