Wednesday, May 23, 2018

දස අකුසල්



මරණින් මතු යම්කිසි තැනක උත්පත්තියක් සිදු කිරීම ප්‍රතිසන්ධි විපාකයයි. එසේ උපන් සත්ත්වයා හට සැපදුක් පැමිණවීම ප්‍රවෘත්ති විපාකයයි. මෙම ප්‍රතිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට කර්මපථය යි කියනු ලැබේ. එවැනි කර්මපථ දස අකුසල් සේ දැක්වේ.

1. ප්‍රාණාතිපාතය

ප්‍රාණාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • පණ ඇති සත්ත්වයෙක් වීම
  • පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
  • මැරීමේ චේතනාව (කැමැත්ත)
  • මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම


2. අදත්තාදානය


අදත්තාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • අන්සතු වස්තුවක් වීම
  • අන්සතු වස්තුවක් බව දැන සිටීම
  • එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)
  • එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම වස්තුව සොරකම් කිරීම


3. කාමමිථ්‍යාචාරය

කාමමිථ්‍යාචාරය යනු සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. කාමමිත්‍යාචාර අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:



  • සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම
  • සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත)
  • සේවනය සඳහා උත්සහ කිරීම
  • සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම


4. මුසාවාදය


මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත මුද්‍රාවෙන් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:



  • කියන කරුණ අසත්‍යයක් වීම
  • අනුන් රැවටීමේ චේතනාව
  • එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
  • කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම


5. පිශුන වචනය


පිශුන වචනය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. එනම් කේළාම් කීම. පිශුන වචනය අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව
  • ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම
  • ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම



6. පරුෂ වචනය


පරුෂ වචනය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ක්‍රෝධ සහගත සිත් ඇති වීම
  • සිත රිදවන වචන ප්‍රකාශ කිරීම



7. සම්ඵප්‍රලාපය

සම්ඵප්‍රලාපය යනු මෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය. සම්ඵප්‍රලාපය අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම
  • එබඳු කථාවක් කීම


8. අභිධ්‍යාව

අභිධ්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • අන් සතු වස්තුවක් වීම
  • එය අයත් කර ගැනීමට සිතීම.


9. ව්‍යාපාදය

ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • අන්‍ය සත්ත්වයෙකු වීම
  • ඔහුගේ විනාශය පැතීම


10. මිථ්‍යාදෘෂ්ටිය

මිථ්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම
  • එය සත්‍යය වශයෙන් පිළිගැනීම


(වැඩි විස්තර සඳහා පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, බෞද්ධයාගේ අත්පොත, 49-79)