Wednesday, May 30, 2018

දරුවෝ...



දරුවෝ අත්‍රජ, ඤාතක, ඛෙත්තජ අන්තේවාසික හා දින්නක ලෙස වර්ග පහකින් යුක්ත වන්නේය.

1. අත්‍රජ - තමන් නිසා උපන් දරුවෝ
2. ඤාතක - තමන්ට නෑකමින් වන දරුවෝ
3. ඛෙත්තජ - තම සමීපයේ ඉපදීමෙන් වන දරුවෝ (ඔවුන් සිටින්නේ දෙව් ලොවය. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නොවදති. ඇකයෙහි හෝ ළයෙහි හෝ යහනෙහි හෝ උපන් තැනැත්තා දෙවියෝ විසින් දරුවන් ලෙස සලකති. )
4. අන්තේවාසික - මෙනමින් හැදින්වෙන්නේ ගෝලයන්ය. ගුරුවරයෙක් විසින් දරුවකු මෙන් සලකා ශිෂ්‍යයාට හොඳ නරක කියාදිය යුතුය


මේ දරුවන් වර්ග අතරින් අත්‍රජ නම් වූ දරුවෝ ප්‍රධාන වෙති.


එමෙන්ම දරුවෝ තුන් කොටසක් වෙති.

1. අතිජාත - මව්පියන්ට වඩා ගුණවත් වූ දරුවෝ
2. අනුජාත - මව්පියන් හා සමාන ගුණ ඇති දරුවෝ
3. අවජාත - මව්පියන්ට වඩා ගුණයෙන් අඩු දරුවෝ


නුවණින් ගුණයෙන් ඉහළ පණ්ඩිත මව්පියන් කරුණු පහක් බලාපොරොත්තුවෙන් දරුවන් තනන බව තථාගතයන් වහන්සේ විසින් මෙලෙස දේශනා කර ඇත.

පඤ්ච ඨානානි සම්පස්සං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
භතො වා නො හරිස්සති කිච්චං වා නො කරිස්සති
කුලවංසො චිරං ඨස්සති දායජ්ජං පටිපජ්ජති,
අථ වා පන පෙතානං දක්ඛිණං අනුපදස්සති,
ඨානානෙතානි සම්පස්සං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා

පණ්ඩිත මාපියෝ කරුණු පසක් බලමින් දරුවකු කැමති වෙති.

1. අප විසින් පෝෂණය කරන ලද තැනැත්තේ මහලු කාලයේ දී අප පෝෂණය කෙරේය. 
2. වැඩක් ඇති වූ කල්හි අපට එය කරන්නේය. 
3. දරුවා නිසා අප ගේ කුලපරම්පරාව බෝ කල් පවත්නේ ය.
4. අපගේ උරුමය පවත්නේ ය.
5. අප මළ කල්හි අප උදෙසා දන් දෙන්නේ ය 

යන මේ කරුණු බලාපොරොත්තුවෙන් නුවණැත්තෝ දරුවකු කැමති වන්නාහ” යනු එහි තේරුමයි. 

බාල කාලයේ දී තමන් පෝෂණය කළ මාපියන් හට ඔවුන් බලාපොරොත්තු වන කරුණු පස ඉටු කිරීම දරුවකුගේ පරම යුතුකම ය. 

දරුවෝ ඒ කරුණු පස ඉටු කෙරෙත්වා!


උ. ගැ. - රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයේ පිටුව 236-237



Tuesday, May 29, 2018

දශ පුණ්‍යක්‍රියා



1. දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් තමාට අයත් වස්තුවක් අන් අයට පරිත්‍යාග කිරීම.

2. සීලය – පාප ක්‍රියා වලින් වැළකීම හා තථාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම.  ( උදා: පංචශීලය හෙවත් පන්සිල්, අෂ්ඨාංග ශීලය හෙවත් අටසිල්, නවාංග ශීලය, දස සිල් ආදිය )

3. භාවනාව – භාවනාමය කුසලය යනු කුසලයන් අතරින් අග්‍ර වු කුසලයයි. භාවනාව සමථ භාවනාවය, විදර්ශනා භාවනාවය යැයි දෙයාකාර වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීමය. (සමාධිය යනු සිතට නොයෙක් අරමුණු වලට යාමට නොදී එය එක අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයකි. ) විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීමය. භාවනාවෙන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙති.

4. අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගරු කිරීම. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තන් වන අතර ධාතු, මහා බෝධි, චෛත්‍ය හා පිළිම ආදිය ගරු කළ යුතු වස්තූන් වේ.

5. වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම.

6. ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම.

7. පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම

8. ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම.

9. ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් තථාගතයන්  වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම.

10. දිට්ඨිජ්ජුකම්මය – පින් පව් ඇත, පින් පව් වල විපාක ඇත, මරණින් පසු නැවත ඉපදීමක් ඇත, සත්ත්වයෝ කර්මානුරූපීව සුවදුක් ලබන්නේය යනාදී සම්‍යක් දෘෂ්ටි ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම.


  • සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ වැඩි විස්තර පිණිස රේරුකානේ චන්දවිමල හිමිගේ චතුරාර්‍ය සත්‍ය ග්‍රන්ථයේ 142 පිටුව බලන්න.
  • දශ පුණ්‍යක්‍රියා පිළිබඳ වැඩි විස්තර පිණිස රේරුකානේ චන්දවිමල හිමිගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයේ පිටුව 93 -181 බලන්න.



මේ දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ආත්ම භවය තුළ දශ අකුසලයෙන් මිදී හැකි තරම් දශ පුණ්‍යක්‍රියාවන් හී නිරතව උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස කටයුතු කරත්වා... 


"ඉධ නන්දති පෙච්ච නන්දති 
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති 
භීය්‍යො නන්දති සුග්ගතිං ගතො"


"පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පර ලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. මා විසින් පිනක් කරන ලදැයි සතුටු වෙයි. ඒ නිසා සුගතියට ගියේ වඩාත් සතුටු වෙයි.
( ධම්මපදය - යමක වගර්‍‍ය 18 වන ගාථාව)


Saturday, May 26, 2018

දුර්ලභ කරුණු පහක්...


"භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං"

තේරුම:  පින්වත් මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වන්න. ලෝකයේ බුද්ධොත්පාදය දුර්ලභයි. මිනිසත් බව ලැබීම දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පැවිදි බව දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි.

මෙය බුදු රජාණන්වහන්සේ විසින් දිනපතාම කරන අනුශාසනයකි. 

1. බුද්ධොත්පාදය දුර්ලභය - 
බුදු බව ලැබිය හැක්කේ අඹුදරුවන් හා ධනයද ශරීරාවයවයන්ද ජීවිතයද පරිත්‍යාග කරමින් පාරමිතා පුරන කෙනෙකුන්ටය. එබඳු පුද්ගලයෝ ලෝකයේ සුලභ නොවන අතර ලොව පහල වීමද අතිශයින් දුර්ලභය.

2. මිනිසත් බව ලැබීම දුර්ලභය -
අපාය යනු පින් කිරීමට ඉඩක් තබා පින් කිරීම පිළිබඳ නුවණක් හෝ පහළ නොවන ස්ථානයකි. සත්ත්වයෙක් වරක් එහි ඉපදුනහොත් එහිදීද පව්කම් කොට නැවත නැවතත් එහිම උපදින්නේය. නැවත මිනිසත් බව ලැබ ගන්නේ ඉතාම දීර්ඝ කාලයකින්ය. 

3. ක්ෂණ සම්පත්තිය දුර්ලභය
සත්ත්වයන්ට පින් කිරීමට සර්වාකාරයෙන්ම අවස්ථාව නොලැබෙන්නා වූද පින් කිරීමට දුෂ්කර වූද කල් අටක් ඇත්තේය. එම කල් අටනම්;

  • නරකයට වැටී සිටින කාලය
  • තිරිසන්ව සිටින කාලය
  • ප්‍රේතව සිටින කාලය
  • සිත මිස කය පමණක් ඇති අසංඥ භවයට පැමිණ සිටින කාලය
  • බුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් නොපැමිණෙන ප්‍රත්‍යන්ත ( පිටිසර ) ප්‍රදේශවල ඉපිද සිටින කාලය
  • මිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටින කාලය
  • හොඳ නරක තෙරුම් ගත නොහැකි මෝඩයෙකු වී සිටින කාලය
  • අබුද්ධෝත්පාද කාලය
මෙම දුෂ්කර වූ අවස්ථා අටෙන් තොරවූ අවස්ථාව හෙවත් ක්ෂණසම්පත්තිය ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. 

4. පැවිදි බව දුර්ලභය
බුදු සස්නේ පැවිද්ද ලද හැක්කේ බුද්ධොත්පාදය, මිනිසත්බව, ක්ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුනම ලද තැනැත්තාටය. එම තුනම ලද ද පැවිදි වීමට සිත නැමෙන්නේ ඉතාම ටික දෙනෙකුටය.

5. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය
තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධොත්පාද කාලයක මිස අන් කලෙක අසන්නට නොලැබේ. දුර්ලභ වූ බුද්ධොත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නොලැබේ.  ලදත් අසන්නෝ ඉතා අල්පය. ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතාම ටික දෙනෙකි.

මේ අනුව බලන කල අප ලද මේ වටිනා දුර්ලභ අවස්ථාවෙන් නොපමාව ප්‍රයෝජන ගත යුතුය.

(උ. ගැ. - බෞද්ධයාගේ අත්පොත (පි. 210) - රේරුකානේ චන්දවිමල මහා නා හිමි.

රාජ්‍ය පාලනයේදී වැදගත් වන දැහැමි සංකල්ප

රාජ්‍ය පාලනයේදී වැදගත් වන සංකල්ප රැසක් බුදුදහමෙන් පෙන්වා දී ඇත.

ඒවා නම්

සප්ත අපරිහානීය ධර්ම
සතර සංග්‍රහ වස්තු
සතර බ්‍රහ්ම විහරණ
දසරාජ ධර්ම
දස සක්විතිවත්
සතර අගති

සප්ත අපරිහාණීය ධර්ම වැදගත් රාජ්‍ය සංකල්පයකි. මෙය යහපත් පාලකයකු විසින් ගුරුකොට ගත යුතු මූලධර්ම හතකි.  ඒවා නම්

1.නිතර රැස්වීම.
2.සමඟියෙන් රැස්ව,සමඟියෙන් ක්‍රියාකොට,සමඟියෙන් විසිර යාම.
3.නොපැනවූ නීති නොපැනවීම හා පැනවු නීති ආරක්ෂා කිරීම.
4.විවාහක අවිවාහක කාන්තා විෂයෙහි විනීත වීම.
5.වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ට සවන් දීම.
6. පූජණීය ස්ථාන වලට ගරුකිරීම හා රැක ගැනීම.
7. ආගමික නායකයන්ගේ පහසුකම් හා ආරක්ෂාව සැපයීම හා පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම.
යනුවෙන් දැක්වෙන සප්ත අපරිහාණීය ධර්ම අනුව ලිච්ඡවී රාජවංශිකයන් රට පාලනය කිරීම නිසා විසල්පුරය මිහිපිට සුරපුරක් බඳු විය.ඔවුන් එම උපදෙස් අනුවම පාලන කටයුතු කළ නිසා විසල් පුරයට එරෙහිව සටන් කළ අජාසත් රජතුමා දෙවතාවකදී ම පරාජිතයකු බවට පත්විය.

සිඟාලෝවාද සූත්‍රයේ එන සතර සංග්‍රහ වස්තු තවත් උසස් පිළිවෙතකි. මෙම සතර සංග්‍රහ වස්තු රටක සමෘද්ධිය ඇති කරලීමට පාලකයා අනුගමනය කළ යුතුම වෙයි.

1.දානය - තමා සතු දැහැමෙන් සෙමෙන් සපයාගත් ධන ධාන්‍ය හා වස්තු අලෝභාදී චේතනාවෙන් යුතුව අන්‍යයන්හට පරිත්‍යාග කිරීම දීම         
2.ප්‍රියවචනය  - තමාටත් අහිත නොවන, අසන්නාටත් අහිතක් නොවන, අසන්නා බොරුවෙන් වංචාවෙන් නොරවටා බොරු කීම ආදී වාචසික අකුසල් වලින් තොරව කතා කරන්නා වූ වචන, අසන්නා ද සතුටට පත් වන, ඔහුට යහපත ගෙන දෙන වදන්ය.
3.අර්ථචර්යාව  - ලෝවැඩ පිණිස හෙවත් පරාර්ථය සඳහා කටයුතු කිරීම
4.සමානාත්මතාවය -

සතර බ්‍රහ්ම විහරණ යනු රාජ්‍ය පාලනයේදී වැදගත් වන තවත් ඉගැන්වීමකි. ඒවා නම්

1. මෙත්තා - මෛත්‍රීය නම් හිතවත් භාවයයි. කිසිදු භේදයකින් තොරව සියලු සත්ත්වයා දුකින් තොරව, සැපෙන් යුතුව ජීවත්වනු දැකීමයි. ද්වේෂයෙන් තොරව සමාජය දෙස බැලීමයි   
2. කරුණා - කරුණාව නම් දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවයි. සතුරු බිය, රෝග බිය, හදිසි අනතුරු හා විපත්, දරිද්‍රතාව ආදියෙන් පෙළෙන සත්ත්වයා, කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කොට ඉන් ගලවා ගැනීම
3. මුදිතා - අන්‍යයන්ගේ සැපත, සතුට, දියුණුව දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සලකා සතුටුවීම,  ප්‍රීතිවීම
4. උපේක්ඛා - ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම හා නොසැලෙන මැදිහත් බව


දසරාජ ධර්ම නම්

1. දානය - දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ.
2. පරිත්‍යාගය - තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ.
3. සීලය - කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය.
4. තපස - ආත්ම දමනය තපස් ගුණයයි.
5. අවිහිංසාව - හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. 
6. අක්‍රෝධය - වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි.
7. සෘජුභාවය - සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි.
8. මෘදුභාවය - මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි.
9. ඉවසීම (ක්ෂාන්තිය) - ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි.
10. අවිරෝධතාව - ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි.

දේශපාලනයට අදාළ ප්‍රතිපත්ති වලට අනුව දස සක්විතිවත් වලට හිමි වන්නේ සුවිශේෂි වැදගත් කමකි. චක්‍රවර්තී රාජ සංකල්පය හඳුන්වා දීමත් විශ්ව රාජ්‍යයක් ගොඩ නැගිමටත් මහෝපකාරි වන උදාර ප්‍රතිපත්ති 10ක් දස සක්විතිවත් ලෙස දැක්වේ.ඒවා නම්

1. ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්‍යන්තර ජනයා වූ අඹුදරුවන්ගේ ආරක්‍ෂාව සැලසීම.
2. රටේ ආරක්‍ෂක බලකාය කෙරෙහි ආරක්‍ෂාව සැලසීම.
3. රජ පරපුරෙහි ජනයා කෙරෙහි ආරක්‍ෂාව සැලසීම.
4. රාජ්‍ය තන්ත්‍රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහි ආරක්‍ෂාව සැලසීම.
5. රටෙහි වෙසෙන බ්‍රාහ්මන ගහපති ආදී විවිධ ජන කොටස්‌ කෙරෙහි ආරක්‍ෂාව සැලසීම.
6. නියම්ගම් ජනපද වැසියන් කෙරෙහි ආරක්‍ෂාව සැලසීම.
7. රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහි ආරක්‍ෂාව සැලසීම.
8. මෘග පක්‍ෂීන් ආදී සතුන් කෙරෙහි ආරක්‍ෂාව සැලසීම.
9. තමන්ගේ රජයෙහි අධර්මක්‍රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට ධනය ලැබෙන්නට සැලසීමෙන් ඔවුන් සැපවත් කිරීම.
10. තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නව විධ මානයෙන් බැහැර වූ පංචකාමයෙන් වෙන් වූ ස්‌වකීය චිත්ත දමනය කළ කෙලෙස්‌ සන්සිඳවා ගත් (රහතුන් හෝ රහතුන් බඳු) පැවිදි උතුමන් වෙත කලින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද කුමක්‌දැයි අසා දැන ගන අදහමින් වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම.


ජනතා සුබ සිඬිය උදෙසා පාලකයා සතර අගතියෙන් වැළැකිය යුතුය. සතර අගති නම්

1. ජන්දය – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම. මින් අදහස් වන්නේ යම් යම් දෑ ගැන ඇති පුද්ගල කැමැත්ත යි. ස්වතන්ත්‍රව ගන්නා තීරණ හා කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ ගන්නා තීරණ මීට අදාල ය. එබැවින් පාලකයා යුක්තිය, සර්‍ව සාධාරණත්වය ඉටුවන පරිදි නිවැරැදි තීරණ ගැනීම අගතියෙන් වෙන් වීමෙකි.

2. දෝස - යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම. යුතුකම්, සුදුසුකම් හා සාරධර්ම පිළිබඳ යථාවබෝධය නොමැතිව සමගිය හා සාමදානය පිටුදැක කටයුතු කිරීම ‍ද්වේශය යි. රටවැසියා හෝ නිලධාරීනට දඬුවම් කිරීම ඔවුනගේ අභිවෘඬිය උදෙසා ම සිදුකළ යුතුවේ. එසේ නොමැතිව පාලකයා දැඩි අන්තවාදී දූෂිත මනෝභාවයකින් හෙබි නම් හේ තුළ මධ්‍යස්ථ සිතුවිලි ඇති නොවේ. යහ පාලනයක් උදෙසා ද්වේශය පිටුදැකිය යුතුබව බුදුදහම අවධාරණය කරයි.

3. භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම. මෙහිදී පාලකයා සෑමවිට ම මැති ඇමතීන්, සෙසු නිලධාරීන් හා ‍අන් පාලකයන් පිළිබඳ මහත් භීතියකින් පසුවීම භය නම් වේ. එහෙත් විශිෂ්ට චරිතයක් ඇති පාලකයා කිසිදු විටෙක බිය නොවේ. හෙතෙම බුඬිමත්ව ක්‍රියා කරයි. භය ඉස්මතු වනුයේ ආත්මාර්ථය නිසා ය. එබැවින් බියෙන් පෙලෙන පාලකයා ජනතාව ද නිලධාරීන් ද අයථා ලෙස පෙළීමට පත් කරන හෙයින් බුදුදහම භය අගතියක් ලෙස උගන්වයි.

4. මෝහ - මෝඩකමෙන් අගතියට යෑම. මෝහය යනු මුළාව යි. රාජ්‍ය පාලනයේදී පාලකයාට තීක්‍ෂණ බුඬියක් තිබීම අත්‍යාවශ්‍ය ය. එබැවින් හේ මෝහය මුලිනුපුටා දැමිය යුතුය. එය සියළු වැරැදි ක්‍රියාවලට මුල්වන අකුසල මූලයක් හෙයින් එය අගතියක් ලෙස බුදුදහම උගන්වයි. පාලකයා බුඬිහීන, අඥාන මෝඩයකු නම් ඔහුට යහ පාලනයක් ගෙනයාම ඉතාමත් අපහසු ය. යුක්තිය, සාධාරණත්‍වය වටහා ගැනීමට පාලකයකු මුළාවෙන් තොරවිය යුතු ය. ඉන් අගතිගාමී නොවිය යුතු ය.


උ. ගැ.

පාරම්පරික උරුමයක්‌ නොවූ රාජ්‍යත්වය - http://www.divaina.com/2010/03/10/feature01.html)
රාජ්‍ය පාලනය සඳහා බෞද්ධ ඉගැන්වීම් - http://www.myschool.lk/%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A)
දස රාජ ධර්මය - http://bududhahama.blogspot.com/2016/03/blog-post_24.html
සතර බ‍්‍රහ්ම විහරණ - http://www.pragnawa.tk/2016/08/Sathara-Brahma-Wiharana.html
සොඳුරු ලොවක් තනන සිවු සඟරාවත - http://www.budusarana.lk/budusarana/2008/06/26/PrintPage.asp?REF=vision02
සතර අගති - https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B6%BB_%E0%B6%85%E0%B6%9C%E0%B6%AD%E0%B7%92

Thursday, May 24, 2018

මිත්‍රයෝ

මිත්‍රයෝ නොයෙක් ආකාර වෙති. අංග හතකින් යුත් මිත්‍රයා මිත්‍රයන් අතර ශ්‍රේෂ්ඨ වේ. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති පරිදි එම අංග හතකින් යුත් මිත්‍රයා සේවනය (ඇසුරු ) කළ යුතුය.

එම අංග හත නම්;

1. විපතට පත් තම මිත්‍රයා වෙනුවෙන් දීමට දුෂ්කර වූ දේ දෙයි.
2. තම මිත්‍රයා වෙනුවෙන් කිරීමට දුෂ්කර වූ දේ කරයි.
3. තම මිත්‍රයා නිසා ඉවසීමට දුෂ්කර වූ ගැරහුම් අලාභ ආදිය ඉවසයි.
4. තමාගේ කිය යුතු රහස් තම මිත්‍රයාට පවසයි.
5. කොපමණ මහත් ලාභයක් නිසාවත් විපතකින් මිදීම නිසාවත් අන් කරුණක් නිසාවත් තම මිතුරාගේ රහස් හෙළි නොකරයි.
6. තම මිත්‍රයාව විපතේදී අත් නොහරී.
7. තම මිත්‍රයා දිලිඳු වූ කල ඔහු පහත් කොට නොසලකා සැමකල්හිම එක ලෙස සළකයි.

මිත්‍රයෝ දෙවර්ගයකි.

1. මිත්‍ර ප්‍රතිරූපකයෝ හෙවත් පාප මිත්‍රයෝ
2. කල්‍යාණ මිත්‍රයෝ



පාප මිත්‍රයෝ හතර දෙනෙක් වෙති.

1. අඤ්ඤදත්ථුහර
අනුන්ට යහපතක් කිරීම වෙනුවට තමන්ගේ යහපත හා ප්‍රයෝජනය පිණිසම මිතුරන් ඇසුරු කරන්නා.

2. වචීපරම
ක්‍රියාවෙන් කිසිවක් නොකොට කතාවෙන් පමණක් අනුන්ට සංග්‍රහ කරන තැනැත්තා

3. අනුප්‍රියභාණී
අනෙකා කිරීමට යන හොඳ හෝ නරක දෙකම අනුමත කොට කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන තැනැත්තා

4. අපායසහාය
පව්කම් කිරීමට එකතු වන තැනැත්තා

පාප මිත්‍ර ඇසුර පිරිහීමටත් විපතටත් හේතුවේ. උදාහරණ ලෙස මහධන සිටු පුත්‍ර කථාව හා අජාසත් රජ කථාව දැකිවිය හැක.



කල්‍යාණ මිත්‍රයෝ හතර දෙනෙක් වෙති.

1. උපකාරක
උපකාර වුවමනා තැනකදී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරාට උපකාර කරන තැනැත්තා

2. සමාන සුඛදුඃඛ
මිතුරාට වන සුවදුක් තමාට වන සුවදුක් ලෙස සලකන තැනැත්තා

3.අර්ථඛ්‍යායි
පාපයෙන් වැළැක්වීම, යහපතෙහි පිහිටුවීම ලෙස දෙලොව යහපත සිදු කරගැනීමට මග පෙන්වන තැනැත්තා

4.අනුකම්පක
සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන තැනැත්තා




කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බුදු රජාණන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලදී. සියලු දුකින් මිදීමටත්, ලෞකික හා ලෝකෝත්තර සම්පත්තීන් ලැබීමටත් එය බලවත් රුකුලකි.

(උ. ගැ. - පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි ගේ බෞද්ධයාගේ අත් පොත ග්‍රන්ථය පි. 241-246)

Wednesday, May 23, 2018

දස අකුසල්



මරණින් මතු යම්කිසි තැනක උත්පත්තියක් සිදු කිරීම ප්‍රතිසන්ධි විපාකයයි. එසේ උපන් සත්ත්වයා හට සැපදුක් පැමිණවීම ප්‍රවෘත්ති විපාකයයි. මෙම ප්‍රතිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට කර්මපථය යි කියනු ලැබේ. එවැනි කර්මපථ දස අකුසල් සේ දැක්වේ.

1. ප්‍රාණාතිපාතය

ප්‍රාණාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • පණ ඇති සත්ත්වයෙක් වීම
  • පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
  • මැරීමේ චේතනාව (කැමැත්ත)
  • මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම


2. අදත්තාදානය


අදත්තාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • අන්සතු වස්තුවක් වීම
  • අන්සතු වස්තුවක් බව දැන සිටීම
  • එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)
  • එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම වස්තුව සොරකම් කිරීම


3. කාමමිථ්‍යාචාරය

කාමමිථ්‍යාචාරය යනු සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. කාමමිත්‍යාචාර අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:



  • සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම
  • සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත)
  • සේවනය සඳහා උත්සහ කිරීම
  • සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම


4. මුසාවාදය


මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත මුද්‍රාවෙන් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:



  • කියන කරුණ අසත්‍යයක් වීම
  • අනුන් රැවටීමේ චේතනාව
  • එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
  • කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම


5. පිශුන වචනය


පිශුන වචනය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. එනම් කේළාම් කීම. පිශුන වචනය අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව
  • ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම
  • ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම



6. පරුෂ වචනය


පරුෂ වචනය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ක්‍රෝධ සහගත සිත් ඇති වීම
  • සිත රිදවන වචන ප්‍රකාශ කිරීම



7. සම්ඵප්‍රලාපය

සම්ඵප්‍රලාපය යනු මෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය. සම්ඵප්‍රලාපය අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම
  • එබඳු කථාවක් කීම


8. අභිධ්‍යාව

අභිධ්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • අන් සතු වස්තුවක් වීම
  • එය අයත් කර ගැනීමට සිතීම.


9. ව්‍යාපාදය

ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • අන්‍ය සත්ත්වයෙකු වීම
  • ඔහුගේ විනාශය පැතීම


10. මිථ්‍යාදෘෂ්ටිය

මිථ්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:


  • ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම
  • එය සත්‍යය වශයෙන් පිළිගැනීම


(වැඩි විස්තර සඳහා පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, බෞද්ධයාගේ අත්පොත, 49-79)

Tuesday, May 22, 2018

සමතිස් පාරමිතා හෙවත් දශ පාරමිතා, උප පාරමිතා හා පරමාර්ථ පාරමිතා යනු මොනවාද?

නිවන් ලැබිය හැක්කේ චතුරාය්‍යර්‍ සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙන්ය. චතුරාය්‍යර්‍ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්නාවූ ලෝකෝත්තර මාර්ග ඥනයට බෝධියයි කියනු ලැබේ.

තෙවැදෑරුම් බෝධිය

1. සම්‍යක් සම්බෝධිය - ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ලබන්නාවු ඥානය
2. ප්‍රත්‍යේක සම්බෝධිය - පසේ බුදුවරයන් වහන්සේලා ලබන්නාවු ඥානය
3. ශ්‍රාවක බෝධිය - බුද්ධ ශ්‍රාවකයන් විසින් ලබන්නාවූ ඥානය

මෙම සම්බෝධියන්ට පමුණුවන කුශලයෝ පාරමිතා නම්වේ. එබැවින් සම්බෝධිය හෝ නිවන පතා කරන කුශලයෝ පාරමී ලෙස ගැනේ.

පාරමිතා දහයකි

1. දාන
2. ශීල
3. නෛෂ්ක්‍රම්‍ය
4. ප්‍රඥා
5. වීය්‍යර්‍
6. ක්ෂාන්ති
7. සත්‍ය
8. අධිෂ්ඨාන
9. මෛත්‍රී
10. උපෙක්ෂා

මේ එක් පාරමිතාවක් නැවත උප පාරමිතාය, පරමාර්ථ පාරමිතාය ලෙස බෙදේ.
ඒ මෙසේය.

පුත්‍රදාරාවන් හා බාහිර වස්තු දන් දීම දාන පාරමිතාව වේ.
තමාගේ ලේ මස් ඇස් ඉස් දන් දීම උප පාරමිතා වේ.
ජීවිතය පරිත්‍යාග කිරීම පරමාර්ථ පාරමිතා වේ.

මෙලෙස පුත්‍රදාරාවන් හා බාහිර වස්තු වශයෙන්ද, තමාගේ ලේ මස් ඇස් ඉස් වශයෙන්ද, ජීවිතය පරිත්‍යාග කිරීම වශයෙන්ද ගෙන කරන්නාවු කුශලයන් තිස් ආකාරයකි. එය සමතිස් පාරමිතා නම් වේ.

ලොවුතුරා බුදු බවට පැමිණීමට මෙම පාරමිතා සමතිසද, පසේ බුදු බවට පැමිණීමට පාරමිතා දශය හා උප පාරමිතා දශයද පිරිය යුතුය. ශ්‍රාවක බෝධිය පතනුවන් විසින් පාරමිතා දශය පිරීමම ප්‍රමාණ වේ.

වැඩි විස්තර සඳහා පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිගේ පාරමිතා ප්‍රකරණය පොත බලන්න.

දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණ


දෙතිස් ලක්‍ෂණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක් හිමි වේ (ලක්ඛණ සූත්‍රය).


1. සුප්පතිට්ඨීතපාදො

සාමාන්‍යය ජනයා පය බිම තබන කල්හි පයෙහි අග හෝ විලූඹ හෝ පාර්ශ්වයක් හෝ පළමුවෙන් පොළොවට පැමිණේ. බිම තැබූ කල්හි ද මැද පොළොවෙහි නො සැපී උස්ව සිටී. තථාගතයන් වහන්සේ පය බිම තබන කල්හි සැම තැන එක වර පොළොව ස්පර්ෂ කරයි. මැද උස්ව නොසිටී, මේසෙන් හැන්දක් මෙන් සැම තැනින් පොළොව ස්පර්ශ කර ගෙන සීටී. මේ සුප්පතිට්ඨිතපාදතා නම් පුරුෂ ලක්ෂණ ය. 

2. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි

තථාගතයන් වහන්සේගේ යටි පතුල් යුවළෙහි දහසක් දැවි ඇති චක්‍රසටහන් යුවළක් පිහිටා ඇත්තේ ය. මේ එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. එය වටා ස්වස්තිකය ශ්‍රීවත්සය, නන්ද්‍යාවර්තය, සෞවස්තිකය, අවතංසය යනාදි මඟුල් ලකුණු බොහෝ ගණනක් පිහිටා ඇති බව අටුවාවල කියා ඇත්තේ ය. 

3. ආයතපණ්හි

දික් වූ විළුම් ඇති බව එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. සාමාන්‍ය ජනයන්ගේ අක් පතුල් දිගය. විළුම් මත සිහින් කකුල් පිහිටා ඇත්තේය. ඇතැමුන්ගේ විළුම් මඳක් ඇත්තේ ය. ඇතැමුන්ගේ විළුම් සැසැදැමුවාක් මෙන් පෙනෙන්නට නැත. තථාගතයන් වහන්සේගේ පතුලෙන් දෙකෙන් කොටසක් ඉදිරියට ඇත්තේ ය. තුන් වන කොටසෙහි සිහින් කකුල් පිහිටා ඇත්තේ ය. ඉන් පස්සට විලූඹ පතුලෙන් සතරෙන් කොටසක් ඇත්තේ ය. එය ලියවන ලද්දක් සේ ශෝභන ලෙස පිහිටා තිබේ.

4. දීඝංගුලි

සෙස්සන්ගේ ඇඟිලි සමහරක් දික් ය. සමහරක් කෙටි ය. බුදුරදුන්ගේ අත් පාවල ඇඟිලි මුල මහත්ව අග සිහින්ව දිගින් සමව පිහිටා ඇත්තේ ය.

5. මුදු තලුණ හත්ථපාදො

බුදුරදුන්ගේ අතුල් පතුල් උපන් සැටියේ දරුවකුගේ අතුල් පතුල් මෙන් මෘදුව ඇත්තේ ය.

6. ජාලහත්ථ පාදො

බුදුරදුන් අතෙහි ඇඟිලි සතර හා පයේ ඇඟිලි පස දක්ෂ ශිල්පියකු විසින් ලිය වූ පොලූ යොදා කළ කවුළුවක අක්මුල් හා ගැට එක පෙලට පවත්නාක් මෙන් අක්මුල් හා සන්ධිස්ථාන එක පෙළට සමව පිහිටා ඇත්තේ ය.

7. උස්සංඛ පාදො

බුදුරදුන්ගේ පාදයෙහි ගොප් ඇට අන්‍යයන්ගේ ගොප් ඇට පිහිටි තැනට ඉහළින් පිහිටා ඇත්තේ ය. සෙස්සන්ගේ ගොප් ඇට පයේ පහළ පිහිටා ඇති බැවින් පතුල් තද වී ඇත්තේ ය. පහසුවෙන් ක්‍රියා කරවිය නො හැකිය. බුදුරදුන්ගේ පාවල ගොප් ඇට ඉහළින් පිහිටා ඇත් බැවින් පතුල් පහසුවෙන් ක්‍රියා කරවිය හැකි ය. ගමන් කරන කල්හි සෙස්සන්ගේ පතුල් ඇතුන්ගේ මෙන් පිටිපසට පමණක් පෙනේ. ඉදිරියෙන් නො පෙනේ. බුදුරදුන් වඩනා කල්හි උන්වහන්සේ ගේ පතුල් ඉදිරි, පසු දෙසින් ම දැකිය හැකිය.

8. එණිජංඝො

සෙස්සන්ගේ සිහින් කකුල් පිටිපසින් මස් ගොබයකින් යුක්ත වී ඉදිරිපස ඇට මතු වී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ ජංඝාවෝ එණි නම් මෘගයන්ගේ ජංඝා මෙන් මසින් වට වී ඇත්තාහ.

9. ඨීතකොව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති, පරිමජ්ජති.

සෙස්සන්ට පිට ගෙන තමන්ගේ දණ නො නැමී අත නො ගෑ හැකි ය. තථාගත ශරීරය සිට ගෙන නො නැමී දණ අතින් පිරිමැදිය හැකි පරිදි ඇත්තේ ය. එය පමණට වඩා අත් දික්ව පිහිටිමක් ලෙස නො සැලකිය යුතු ය. එයට සුදුසු වන පරිදි තථාගත ශරීරය පිහිටා ඇති බැවින් උන් වහන්සේට එසේ කළ හැකි ය.

10 කොසොභිත වත්ථගුය්හො.

තථාගතයන් වහන්සේගේ පුරුෂව්‍යඤ්ජනය ගවයන්ගේ ඇතුන්ගේ මෙන් කෝෂයකින් වැසී ඇත්තේ ය.

11. සුවණ්ණවන්ණො.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ඔපලා ඇති ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ වන්නේ ය.

12. සුබුමච්ඡවි.

තථාගතයන් වහන්සේගේ සම ඉතා සියුම් ය. එබැවින් එහි ධුලි ආදිය නො තැවරෙයි. නෙළුම් පතට වැටෙන දියබින්දු එහි නො ඇලී පෙරළි යන්නාක් මෙන් තථාගත ශරිරයට පැමිණෙන ධූලි එහි නො ඇලී ඉවත් වෙයි. එබැවින් තථාගත ශරීරය සෑම කල්හි පවිත්‍රව පවත්නේ ය. උන්වහන්සේ අත් පා සේදීම කරන්නේ ජලස්නානය කරන්නේ කය සිසිල් කිරිම පිණිස හා දායකයන්ට පින් සිදුවීම පිණිස ය.

13. එකෙක ලොමො.

සෙස්සන්ගේ එක ලෝමකූපයක සමහර විට ලොම් දෙක තුන බැගින් ද වෙයි. තථාගත ශරිරයෙහි ඇත්තේ එක් ලෝමකූපයක එක් ලෝමයක් බැගිනි.

14. උඬග්ග ලොමො.

සෙස්සන්ගේ ශරීරවල ලොම් නන් අයුරින් පිහිටා තිබේ. තථාගත ශරිරයේ ලොම් සියල්ල දකුණතට කරකැවී අග උඩ බලා සිටින සේ පිහිටා ඇත්තේ ය.

15. බ්‍රහ්මුජ්ජුගත්තො.

බොහෝ දෙනාගේ ශරිර ඉදිරියට හෝ පස්සට නැමී බර වී තිබේ. සමහරුන්ගේ ශරීර පැත්තට ද නැමී පවතී. ඇතැම්හු පස්සට නැමුණු ශරිරය ඇති නිසා නිතර උඩ බලා සිටිති උඩ බලා ගමන් කරති. මහාපුරුෂ ශරිරය බ්‍රහ්මයාගේ ශරීරය මෙන් සෘජුව පවතී. තථාගතයන් වහන්සේගේ දේහය එසේය.

16. සන්තුස්සදො.

පිටිඅත් දෙක පිටිපතුල් දෙක උරහිස් දෙක ස්කන්ධය යන සත්තැන ම තථාගත ශරීරයෙහි ඇට නහර මතු නොවී පිරි පවතී. එය සත්තුස්සද නම් මහාපුරුෂ ලක්ෂණය ය. බොහෝ දෙනාගේ ශරිරවල ඒ ස්ථානයන්හි ඇට නහර මතු වී ඇත්තේ ය.

17. සීහපුබ්බද්ධ කායො

සිංහ ශරීරයේ පූර්වාර්ධය පරිපුර්ණ ය. පිටිපස අපරිපුර්ණ ය, දුබල ය. තථාගතයන් වහන්සේගේ සකල ශරීරය ම සිංහ ශරීරයේ පූර්වාර්ධය සේ පරිපූර්ණ ය.

18. චිතන්තරංසො

සෙස්සන්ගේ පිට මැදින් වළගැසී දෙකට බෙදී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ පිට මසින් පීරී ලෑල්ලක් සේ සමව පිහිටා ඇත්තේ ය.

19. නිග්‍රොධ පරිමණ්ඩලො

නුග ගස සැට රියනක් උස නම් සැටරියනක් පුළුල් වන්න් ය. අසූරියනක් උස නම් අසුරියනක් පුළුල් වන්නේ ය. දිග පුළුලින් සමවන නුගරුකක් මෙන් තථාගත ශරීරය ද සමව පිහිටා ඇත්තේ ය. තථාගත දේහයේ උස යම් පමණ නම් බඹය ද එපමණ ම වේ. බඹය යම් පමණ නම් උස ද එපමණ ම වේ. උසත් බඹයත් සමව පිහිටා ඇත්තේ ය. සෙස්සන්ගේ බඹය හෝ දික්වෙයි. ශරිරය හෝ දික්වෙයි. ශරිරයත් බඹයත් සම නො වේ.

20. සමවත්තක්ඛන්ධො.

ඇතැම්හු කොකුන් මෙන් දිග් ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු වක් වූ ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු පුළුල් ගෙළ ඇත්තෝ ය. කථා කිරිමේ දී ඔවුන්ගේ ගෙළෙහි නහර මතුවෙයි. හඬ මහත්ව මිහිරිව නො නැඟෙයි. තථාගතයන් වහන්සේගේ ගෙළ රන්කලසක කර සෙයින් වටවී පිහිටා ඇත්තේ ය. කථා කිරීමේදී නහර මතු නොවේ. එයින් මහත් වූ ද මිහිරි වූ ද හඬ නැඟෙයි.

21. රසග්ගසග්ගී

භාග්‍යවතුන් වහන්සේගේ සත්සියයක් රස නහර (ආහාර ඕජාව ශරීරයේ පතුරුවන නහර) උඩුකුරුව ගොස් ග්‍රීවයට අක් පැමිණ පිහිටා තිබේ. එබැවින් තල ඇටයක් පමණ වූ ද ආහාරයක් දිවෙහි තැබුව හොත් එහි රසය සකල ශරිරයෙහි ම පැතිර යයි. දුෂ්කර ක්‍රියා කාලයේ දී බෝසතාණන්ට එක් බත් ඇටයකින්, මුං තැන්බු දිය ස්වල්පයකින් යැපිය හැකි වූයේ මේ මහාපුරුෂ ලක්ෂණය නිසා ය. සෙස්සන්ගේ රස නහර එසේ පිහිටා නැති බැවින් ඔවුන් ගන්නා ආහාරයේ ඕජාව සකල ශරීරයේ නො පැතිරෙයි. එබැවින් ඔවුහු රෝග බහුලයෝ වෙති.

22. සීහහනු.

සිංහයාගේ යටිහක්ක සම්පුර්ණ ය. උඩුහක්ක අසම්පුර්ණ ය. සිංහයාගේ යටිහනුව මෙන් මහා පුරුෂයාණන්ගේ උඩු යටි හනු දෙක ම පුර පසළොස්වක දිනයේ සඳ මෙන් සම්පුර්ණව ඇත්තේ ය.

23. චත්තාළීස දන්තො

සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුනට දත් දෙතිසක් වුවද, තිසක් වුවද, විසිඅටක් වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපුර්ණ බැවින් එක් එක් හනුවක දත් විස්ස බැගින් දත් සතළිසක් ඇත්තේ ය.

24. සමදන්තො

සෙස්සන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්ව ද නො සම ලෙස පිහිටා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සමසතළිස් දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ.

25. අව්වරදන්තො

බොහෝ දෙනාගේ දත් එකිනෙක බැඳි පිහිටා නැත්තේ ය. ආහාර ගන්නා කල්හි දත් අතර අහර රැඳේ. එවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේ ගේ දන්තයෝ එකින් එක බැඳි පිහිටා සිටිති. ආහාරවලට රැඳී සීටිමට තැනක් උන් වහන්සේගේ දන්තයන් අතර නැත්තේ ය.

26. සුසුක්ක දාඨො

දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති වට දත් සතර ය. ඇතැමුන්ගේ දාඨාවෝ විවර්‍ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුව සේ ඉතා සුදු ය. උන් වහන්සේ සිනාසෙන කල්හී ඒවායින් සුදු රැස් විහිදෙන්නේ ය.

27. පහුත ජිව්හො.

ඇතැමුන් ගේ දිව පමණට වඩා ඝන හෝ වෙයි, කුඩා හෝ වෙයි. ඉක්මනින් ක්‍රියා කරවිය නොහෙන පරිදි තද හෝ වෙයි. ඔවුනට පිරිසිදු ලෙස උච්චාරණය නො කළ හැකි ය. ඇතැම් අකුරු උච්චාරණය නො කළ හැකි ය. බුදුරදුන්ගේ දිව වනාහි දිග් ද පුළුල් ද මෘදු ද සම ද වර්‍ණවත් ද වේ. එබැවින් උන් වහන්සේගේ ස්වරය මිහිරි ය. සෙස්සන් කීමට පැය ගණනක් කාලය ගන්නා දෙය උන් වහන්සේට අසනුවන්ට පැහැදිලි ලෙස තේරුම් යන පරිදි විනාඩි ගණනකින් කිය හැකි ය. දිව මෘදු බැවින් තථාගතයන් වහන්සේට එය හකුළුවා පන්හිඳක් සේ කොට නාස්පුඩු පිරිමැදිය හැකි ය. කන් සිදුරු පිරිමැදිය හැකි ය. පුළුල් කොට නළල වැසිය හැකි ය.

28. බ්‍රහ්මස්සරො හොති කරවීකභාණී.

ඇතමෙකුගේ හඬ වඩුවන් ඇණ ගසන හඬ සේ ටින් කබල්වලට තට්ටු කරන හඬ සේ දර පලන හඬ සේ කවුඩු හඬ සේ රළුය. අමිහිරිය, පිත් සෙම් ආදියෙන් අවහිරයක් නැතිව නැඟි එන තථාගතයන් වහන්සේගේ ස්වරය බ්‍රාහ්මයාගේ ස්වරය බඳු ය. අෂ්ටාංගයකින් යුක්ත ය. ස්වරයෙහි අංග අට,
“විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්‍යා – සවනීයා වීසාරිනො
බින්දු ගම්භීර නින්නාදි – ත්‍යෙව අට්ඨංගිකො සරො”  යනුවෙන් අභිධානප්පදීපිකාවෙහි දක්වා ඇත්තේ ය. සිනිඳු බවය, මිහිරි බවය, පහසුවෙන් තේරුම් ගත හැකි බවය, කනට සැප බවය, අවුල් නැති බවය, එකතු වී ඇති බවය, ගැඹුරු බවය, නින්නාද ඇති බවය යන මේ අට ස්වරයෙහි අංගයෝ ය. අෂ්ටාංගයෙන් යුක්ත වන බුදුරදුන්ගේ හඬ කුරවිකෙවිල්ලන්ගේ හඬ සේ මධුර ය. කුරවිකෙවිල්ලා හිමාලය වනයෙහි වෙසෙන පක්ෂියෙකි. ඌ ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කොතරම් මිහිරි ද කියත හොත්, ඒ හඬ කන හුණු මෘගපක්ෂිහු මත්වුවන් මෙන් එයට ඇහුම්කම් දෙන්නට පටන් ගනිති. තණ කන මෘගයෝ කටට ගත් තණ බිම හෙලා එයට ඇහුම්කන් දෙමින් එහි රසය විඳින්නට පටන් ගනිති. කුඩා සතුන් ලුහුබැඳ දුවන සිංහව්‍යාඝ්‍රාදීහු එස වූ පා බිම නො තබා එයට ඇහුම්කන් දෙති. මරණ බියෙන් දුවන කුඩා සත්තු නැවතී එයට ඇහුම්කන් දෙති. පියාසර කරණ පක්ෂිහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි මස්හු වරල් නො ගසා ඒ හඬ අසති. කරවීක පක්ෂීයාගේ හඬට වඩා සියගුණයෙන් සහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්මඝෝෂාව මිහිරි ය. කරවීය පක්ෂියාගේ හඬ ගැන බ්‍රහ්මායු සුත්‍ර අටුවාවෙහි සඳහන් කථාවක් මෙසේ ය. අසන්ධිමිත්‍රා නම් වු ධර්මාශෝක රජුගේ දේවිය “ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ හඬ බඳු හඬක් කාහටවත් ඇත්තේ දැ’යි මහාසංඝයාගෙන් විචාළා ය. “එබඳු හඬක් කරවීක පක්ෂියාට ඇතය ය’යි මහාසංඝයා වහන්සේ වදාළහ. “ඔවුහු කොහි වෙසෙත් දැ’යි දේවිය ඇසුවා ය. හිමාලය වනයෙහි වෙසෙන බව මහාසංඝයා වදාළහ. දේවිය කරවීක පක්ෂියකු බලන්නට කැමති බව රජතුමාට කීවේය. රජු “මේ කුඩුවෙහි හිඳ කරවීය පක්ෂියෙක් ඒවා’යි රන්කූඩුවක් යැවීය. එය අහසින් ගොස් එක් කරවීය පක්ෂියකු ඉදිරියේ නැවතිණ. පක්ෂියා එය තුළට වන් කල්හි කූඩුව පෙරළා අවුත් රජු ඉදිරියේ නැවතිණ. එහෙත් ඌ ලවා නාද කරවන්නට නො පිළිවත් විය. එකල්හි රජ “මේ පක්ෂියා හඬන්නේ කෙසේදැ’යි ඇසීය. “දේවයන් වහන්ස, නෑයන් දුටු කල්හි මොහුහූ හඬ නගන්නාහ’යි දන්නෝ කීහ. රජතුමා කූඩුව වටා කන්නාඩි තැබවී ය. පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ ය’ යි සිතා නාද පවත්වන්නට විය. සකළ නගරයේ ම මනුෂ්‍යයෝ ඒ හඬ අසා මත් වූහ. අසන්ධිමිත්‍රා දේවිය “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්‍වඥතාඥානශ්‍රීයට පත් තථාගතයන් වහන්සේ ගේ ස්වරය කොතරම් මිහිරි වන්නට ඇද්දැ’යි බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම සෝවාන් ඵලයෙහි පිහිටියා ය.

29. අභිනීල නෙත්තො

බොහෝ දෙනාගේ නෙත් දුඹුරු පැහැ ඇත්තේ හෝ බොරපැහැ ඇත්තේ හෝ වෙයි. තථාගතයන් වහන්සේගේ නේත්‍රයන්ගේ මධ්‍යමණ්ඩලයෝ දිය බෙරලිය මල් සෙයින් නිල්පැහැ ඇත්තාහ. තවද ඒවායේ රන්වන් විය යුතු තැන් කිණිහිරිමල් සෙයින් රන්වන් ය. රතු විය යුතු තැන් බඳුවද මල් මෙන් රතු ය. සුදු විය තැන් ඔප ලූ සක් මෙන් සුදු ය. කළු විය යුතු තැන් අඳුන් සේ කළු ය.

30. ගොපඛුමො

බොහෝ දෙනාගේ ඇස් පමණට වඩා මහත් හෝ කුඩා හෝ වෙයි. ඉදිරියට නෙරා හෝ ගිළී හෝ ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ අක්ෂිගුලයෝ එකෙණෙහි උපන් රතු වස්සන්ගේ ඇස් මෙන් ප්‍රසන්න වන්නාහ. ඔප දමා ඇති මැණික් ගුළි සේ සිනිඳු ද පැහැපත් ද වන්නාහ.

31. උණ්ණා භමුක්කන්තරෙ ජාතා

තථාගතයන් වහන්සේ ගේ දෙබැම අතර නළල මැද දක්ෂිණාවර්ත ශුභ්‍රවර්ණ රෝමයක් පිහිටා ඇත්තේ ය. එය ඌර්‍ණරෝම නම් වේ. එය අගින් ගෙන ඇද්ද හොත් බාහුවෙන් අඩක් පමණ වන්නේ ය. ගිතෙල් ගැල්වූ සියවර පෙලූ පුළුන් රොදක් සේ මෘදු වූ ඒ රෝමය එක් මහාපුරුෂ ලක්ෂණයකි. එය රන් තැටියක රිදී බුබුලක් සේ බබලන්නේ ය.

32. උණ්භීස සීසො

දෙකන්සිළු දක්වා නළල වසා සිටින සෙස්සන්ට නැති විශේෂ මාංසපටලයක් තථාගතයන් වහන්සේගේ නළලෙහි ඇත්තේ ය. එය උණ්හීස නම් වේ. එය රජුන් බදින නළල් පටක් සේ දිලෙයි. පශ්චිමභවික මහාබෝසතුන්ගේ ඒ මහා පුරුෂ ලක්ෂණය අනුව රජුන් නළල් පටක් පළදින්නට පටන් ගත් බව ද කියා තිබේ.


(උ. ගැ. - http://discussions.pathnirvana.org/2017/04/14/maha-purusha-lakshana/)

බුදු රජාණන් වහන්සේ සතු ඥාණ, අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්ම


ෂඩ් අසාධාරණ ඥාන

1. ඉන්ද්‍රිය පරෝපරියත්ථ ඥානය
2. ආසායානුසය ඥානය
3. යමක පාටිහාරි ඥානය
4. මහා කරුණා සමාපත්ති ඥානය
5. සම්බඤ්ඤුත ඥානය
6. අනාවරණ ඥානය

දසබල ඥාන

1. ඨානා ඨාන ඥානය
2. යථා භූත විපාක ඥානය
3. සබ්බත්ථ ගාමිනී පටිපදා ඥානය
4.අනේකධාතු නානාලෝක ඥානය
5. නානාධිමුක්තිකත්ව ඥානය
6. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය
7. ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්ති ඥානය
8. පුබ්බේනිවාසානුස්සති ඥානය
9. චුතිපටිසන්ධි ඥානය
10. අශ්‍රවක්‍ෂය කර ඥානය

චතුර් වෛශාරද්‍ය ඥාන

1. බුදුරජාණන් වහන්සේ තමා සම්මා සම්බුද්ධ යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි ප්‍රකාශ කිරීමට සමත් කෙනෙකු ලොව නැත.
2. බුදුරජාණන් වහන්සේ තමා ක්‍ෂීණාස්‍රව උතුමෙකැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි ප්‍රකාශ කිරීමට සමත් කෙනෙකු ලොව නැත.
3. මේ මේ ධර්මයෝ ස්වර්ග, මෝක්ෂ දෙකට හේතු වෙයි. මේවා හේතු නොවේ යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි කීමට සමත් කෙනෙකු ලොව නැත.
4. බුදුරදුන්ගේ ධර්මය නෛර්යානික යැයි ප්‍රකාශ කළ විට එසේ නොවේ යැයි කීමට සමත් කෙනෙකු ලොව නැත.

අෂ්ට විද්‍යා

1. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දන්නා විදර්ශනා ඥානය.
2. මනෝමය සෘද්ධි ඥානය
3. සෘද්ධි විද ඥානය
4. දිව්‍යසෝත ඥානය
5. පරිචිත්ත විජාණන ඥානය
6. පූර්වේ නිවාසානුස්සති ඥානය
7. දිව්‍ය චක්ශුර්හි ඥානය
8. අශ්‍රවක්ෂයකර ඥානය

පසළොස්චරණ ධර්ම

1. උත්තම ශීලය
2. ඉන්ද්‍රිය සංවරය
3. පමණ දැන වැළඳීම
4. නිදි දුරු කිරීමේ යෙදීම
5. ශ්‍රද්ධාව
6. පාපයට ලැජ්ජාවීම
7. පාපයට බයවීම
8. බහුශ්‍රැත භාවය
9. උට්ඨාන වීර්යය
10. උත්තම සිහිය
11. උත්තම ප්‍රඥාව
12. ප්‍රථම ධ්‍යානය
13. ද්විතීය ධ්‍යානය
14. තෘතීය ධ්‍යානය
15. චතුර්ථ ධ්‍යානය

(උ. ගැ. - http://www.budusarana.lk/budusarana/2010/11/28/PrintPage.asp?REF=vision04)

ධර්ම රත්නය යනු කුමක්ද?

"සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍රය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්ම රත්නය වේ."
(උ. ගැ. - බෞද්ධයාගේ අත්පොත (පි. 21) - රේරුකානේ චන්දවිමල මහා නා හිමි.)

නව ලෝකෝත්තර ධර්ම
(ලෝකයෙන් එතෙර කරවන්නා වූද ලෝකය ඉක්මවා සිටින්නා වූද ධර්මයෝ යන අර්ථයයි)

සතර මාර්ගය

1. සෝවාන් මාර්ගය
2. සකෘදාගාමී මාර්ගය
3. අනාගාමී මාර්ගය
4. අර්හත් මාර්ගය

සතර ඵලය

5. සෝවාන් ඵලය
6. සකෘදාගාමී ඵලය
7. අනාගාමී ඵලය
8. අර්හත් ඵලය

9. නිර්වාණය

10. පිටකත්‍රය (ත්‍රිපිටකය)
  • විනය පිටකය 
  • සූත්‍ර පිටකය 
  • අභිධර්ම පිටකය