අඹු දරුවන් පෝෂණය කරමින්, රැකියවන්හි යෙදෙමින් කාර්ය බහුල ජීවිතයක් ගත කරන මිනිසාට දිනපතා පින් දහම් කිරීමට ඉඩක් නොලැබේ. එබැවින් පැරැන්නන් විසින් මසකට දින හතරක් පින් කිරීම සඳහා වෙන් කර ගත්හ. පෝය දවස් ය කියනුයේ ඒ දින වලටය. පොහොය දිනයන් නියම කරගෙන තිබුණේ බුදු රජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර සිටය. උන්වහන්සේ ද ඒ පොහොය දින එසේම පිළිගෙන ඒ දින වලදී පෙහෙවස් සමාදන් වීම අනුදැන වදාළ සේක.
මෙම පොහොය දිනයන් නියම කරගෙන ඇත්තේ චන්ද්‍රයගේ පැවැත්මට හෙවත් චන්ද්‍ර මාස ක්‍රමයට අනුවය. චන්ද්‍ර මාස ක්‍රමය දින තිහේ ඒකක වලින් සැදුම් ලද්දකි. එනම් චන්ද්‍රයා වැඩෙන්නට පටන් ගත් දිනයේ පටන් සම්පුර්ණයෙන් පිරිහී යන දිනය දක්වා කාලය දින තිහකි. චන්ද්‍ර මාසයක් දින තිහකට හෙවත් තිථි තිහකට බෙදා දැක්විය හැකිය.
මෙහි ඇති විශේෂත්වය නම් සඳ පිරීමේ හෝ පිරිහීමේ තිථියන් අනුව පුර සහ අව යනුවෙන් පක්ෂ දෙකක් සලකා තිබීමයි.
පුර පක්ෂය
චන්ද්‍ර මාසයේ සඳ වැඩෙන දින පහළවට 'පුර පක්ෂය' යි කියනු ලැබේ.
- පුර පෑළවිය – 1 දිනය -(මෙය පෝය පුරන දිනයයි)
- පුර දියවක – 2 දිනය
- පුර තියවක – 3 දිනය
- පුර ජලවක – 4 දිනය
- පුර විසේනිය – 5 දිනය
- පුර සැටවක – 6 දිනය
- පුර සතවක – 7 දිනය
- පුර අටවක – 8 දිනය – මෙය පුර අටවක පොහොය ලෙස හැදින්වේ. මෙහිදී චන්ද්‍රයාගෙන් අඩක් පමණක් දිස්වේ.
- පුර නවවක – 9 දිනය
- පුර දසවක – 10 දිනය
- පුර එකොළොස්වක – 11 දිනය
- පුර දොළොස්වක – 12 දිනය
- පුර තෙළෙස්වක – 13 දිනය
- පුර තුදුස්වක – 14 දිනය
- පුර පසළොස්වක – 15නි දිනය – මෙය පුර පසළොස්වක පොහොය ලෙස හැදින්වේ. මෙදිනට චන්ද්‍රයා පූර්ණ ලෙස දිස්වේ.
අව පක්ෂය
පුර පක්ෂයට පසුව එළඹෙන්නේ අව පක්ෂයයි. එයද දින පහළවකින් සමන්විත වේ.
එයද පිළිවෙලින් පෑළවිය, දියවක ආදීලෙස ගැනේ.
- අව පෑළවිය – 16 දිනය -(පෝය පුරන දිනය)
- අව දියවක – 17 දිනය
- අව තියවක – 18 දිනය
- අව ජලවක – 19 දිනය
- අව විසේනිය – 20 දිනය
- අව සැටවක – 21 දිනය
- අව සතවක – 22 දිනය
- අව අටවක – 23 දිනය – මෙය අව අටවක පොහොය ලෙස හැදින්වේ. මෙහිදී චන්ද්‍රයාගෙන් අඩක් පමණක් දිස්වේ.
- අව නවවක – 24 දිනය
- අව දසවක – 25 දිනය
- අව එකොළොස්වක – 26 දිනය
- අව දොළොස්වක – 27 දිනය
- අව තෙළෙස්වක – 28 දිනය
- අව තුදුස්වක – 29 දිනය
- අව අමාවක – 30 වන දිනය – මෙය අමාවක පොහොය හෙවත් 'මාසේ පෝය' ලෙසද ව්‍යවහාර කෙරේ. මෙදිනට චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම නොපෙනේ.
මේ අනුව චන්ද්‍ර මාසයකට පොහොය හතරකි.
- පුර අටවක පොහොය
- පුර පසළොස්වක පොහොය
- අව අටවක පොහොය
- අමාවක පොහොය
අමතර සටහන්...
දිනය ලිවීම - සිංහල ක්‍රමය
ශ්‍රී සාලිවාහන ශක වර්ෂ' (අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී සාලිවාහන ශක වර්ෂ 1915 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"
දිනය ලිවීම - බෞද්ධ ක්‍රමය
ශ්‍රී බුද්ධ වර්ෂ' (සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මගිය අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී බුද්ධ වර්ෂ 2500 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"
පරිශීලනය:
- රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ පොහොය දිනය ග්‍රන්ථයේ 19-20 පිටු
- https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB_%E0%B6%B8%E0%B7%8F%E0%B7%83_%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA#%E0%B6%AD%E0%B7%92%E0%B6%AE%E0%B7%92
- අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද රූ සටහන්